Tuesday, January 28, 2014

වර්තමාන පරිගණකයට පාර කැපූ විස්මිත යාන්ත්‍රික රොබෝ යන්ත්‍ර

වර්තමාන පරිගණකයට පාර කැපූ විස්මිත යාන්ත්‍රික රොබෝ යන්ත්‍ර

Hugo චිත්‍රපටයේ ජවනිකාවක්

ඔබ මේ වන විට Hugo නම් ඓතිහාසික වීර චිත්‍රපටය නරඹා ඇති බව නිසැකයි. 18 වන ශත වර්ෂයේ යාන්ත්‍රික පිබිදීම පසුබිම් කොට නිර්මාණය වූ එකී චිත්‍රපටයේ, යතුරක් කැරකැවූ විට පෑනක් ගෙන කඩදාසියක් මත චිත්‍ර අඳින යාන්ත්‍රික රොබෝ ළමයා ඔබට මතක ඇති? ඔබ සිතන්නේ මීට වසර 200කට පමණ පෙර එනම් 18වන ශත වර්ෂයේ එකී චිත්‍රපටයේ නිරූපණය කල යාන්ත්‍රික රොබෝ ලමයා හුදු විද්‍යා ප්‍රබන්ධයක් බවද? පරිගණක තාක්‍ෂණයට මාර්ගය එළි පෙහෙළි කල එවන් විස්මිත නිර්මාණ කිසි විටෙකත් ප්‍රබන්ධ නොවේ.


18 වන ශත වර්ෂය වන විට ලොව පුරා මිනිසුන් යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය පිළිබඳ දැඩි උනන්දුවකින් පසු විය. යාන්ත්‍රිකව ක්‍රියාකරනා පුදුම උපදවන උපකරණ නිපදවීමත් මිලදී ගැනීමත් ඔවුන්ගේ විනෝදාංශය විය. මෙම යාන්ත්‍රික උපකරණ නිර්මාණය කිරීමෙහිලා වඩාත් දස්කම් දැක්වූයේ ඔරලෝසු නිෂ්පාදනය සම්බන්ධ පුද්ගලයන් විසිනි. මෙම යන්ත්‍ර “automata” ලෙස හඳුන්වන ලද අතර එවන් යන්ත්‍රවලට මිනිසුන්ගේ හෝ සතුන්ගේ යම් යම් ක්‍රියාවන් නිරූපණය කිරීමට හැකියාව තිබුණි.


1. "Draughtsman-Writer"

2. The Writer Automaton, Switzerland

මෙහි වීඩියෝ අංක 1න් පෙන්නුම් කෙරෙන "Draughtsman-Writer" යනුද එවන් විස්මිත නිර්මාණයකි. ඩිස්කවරි චැනලය විසින් එය නම් කර ඇත්තේ ලොව මවිත කරවන විශිෂ්ඨතම රොබෝ යන්ත්‍ර 10න් එකක් ලෙසයි. 1928 නොවැම්බර් මස දිනක ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා හි “Franklin විද්‍යා කෞතුකාගාරයට, සම්පූර්ණයෙන්ම විනාශ වූ කිසියම් යන්ත්‍රයක පිත්තල කැබලි තොගයක් ට්‍රක් රථයකින් ගොඩබාන ලදී. බැලූ බැල්මට එකී යාන්ත්‍රික කොටස් අතිශය සංකීර්ණ වූ අතර,  එම යන්ත්‍රය කුමන ආකාරයේ එකක්දැයි නිෂ්චය කිරීමට පවා නොහැකි විය. ධනවත් ෆිලඩෙල්ෆියානු වැසියෙක් වූ John Penn Brock විසින් මෙය කෞතුකාගාරයට ප්‍රදානය කරන ලදී.

මෙම යන්ත්‍රය නැවතත් සකස් කිරීම සඳහා භාර දෙන ලද්දේ විද්‍යා කෞතුකාගාරයේ කාර්යය මණ්ඩලයේ සිටි යාන්ත්‍රික උපකරණ ශාස්ත්‍රයේ හසල දැනුමැති දක්‍ෂ පුද්ගලයෙක් වූ Charles Roberts ටයි. ඔහු අතට පත් වූයේ අන්තිම කැබැල්ල දක්වා ගැලවී ගිය සංකීර්ණ පිත්තල ගොඩකි. යන්ත්‍රය ක්‍රියා කරවීමේ උපදෙස් පත්‍රිකාවක් හෝ සැලසුම් පත්‍රිකාවක් ඔහුට තිබුණේ නැත. එවන් අරුම පුදුම යන්ත්‍ර කොටස්ද ඔහූ පෙර දැක තිබුණේ නැත. එහෙත් ඔහු නොසැලී යන්ත්‍රය සකස් කිරීමේ කාර්යය කරගෙන ගිය අතර ඔහුගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු දෑස් ඉදිරිපිට විද්‍යාමාන වූයේ අරුම පුදුම යාන්ත්‍රික රොබෝවෙකි.

The Franklin Institute's Automaton
රොබෝ යන්ත්‍රයේ අතක් පෑනක් අල්ලා සිටින ඉරියව්වක් නිරූපණය කල බැවින්, එහි පෑනක් රඳවන ලදී. ඒ යටින් කඩදාසියක්ද තබන ලදී. රොබෝ යන්ත්‍රය වයින් කර ඔවුහු පසෙකට වී බලා සිටියහ. සියල්ලන් පුදුමයට සහ අමන්දානන්දයට පත් කරමින් රොබෝ යන්ත්‍රය විසින් සංකීර්ණ චිත්‍ර හතරක් ඇඳ කවි 3ක් ලියන ලදී. එම කවි ප්‍රංශ භාෂාවෙන් ලියන ලද ඒවා විය. අවසන් කවියේ යටින් සඳහන් වූයේ යන්ත්‍රය නිර්මාණය කල පුදගලයාගේ නම වන අතර එය “Ecrit par L'Automate de Maillardet” ලෙස සඳහන් විය එනම් “Written by the Automaton of Maillardet.” (Maillardet ගේ ස්වයං ප්‍රවර්තක යන්ත්‍රය විසින් ලියන ලදී).

පහත දැක්වෙන්නේ මෙම යාන්ත්‍රික රොබෝව විසින් අඳින ලද සහ ලියන ලද චිත්‍ර සහ කවි කිහිපයක්

Draughtsman-Writer විසින් අඳින ලද චිත්‍ර 1
Draughtsman-Writer විසින් අඳින ලද චිත්‍ර 2
Draughtsman-Writer විසින් ලියන ලද තම න සඳහන් කවිය
 අවසානයේ මෙම යන්ත්‍රයේ විස්මිත නිර්මාණකරුවා එසේ සොයා ගත හැකි විය. සොයා ගත් තොරතුරු අනුව Henri Maillardet 18 වන සියවසේදී ලන්ඩනයේ ජීවත් වූ ස්විස් ජාතික ඔරලෝසු කාර්මික ශිල්පියෙකි. මෙම automata යන්ත්‍රය ඔහු විසින් 1800 වර්ෂයට පෙර සෑදූ එකක් බව විශ්වාස කරන අතර මෙවැනි automata යන්ත්‍ර කිහිපයක්ම ඔහු අතින් නිර්මාණය වී ඇති බව විශ්වාස කෙරේ. 
මෙම රොබෝව විසින් මිනිසෙක් ලිවීමේදී පල කරන ඉරියව් ඒ ආකාරයෙන්ම නිරූපණය කිරීමට වග බලාගෙන ඇත එනම් ලියන හෝ අඳින ස්ථානය දෙසට දෑස යොමු කිරීම සඳහා බෙල්ල සහ ඔළුව සෙලවීම. චාල්ස් රොබර්ට්ගෙන් පසුව දක්‍ෂ කාර්මික ශිල්පීන් කිහිප දෙනෙක් මෙම යන්ත්‍රය වඩාත් හොඳින් ක්‍රියා කරවීම සඳහා එය පිළිසකර කරන ලදී. රොබෝ යන්ත්‍රය වාඩි වී සිටින්නේ තමන්ගේ මතක පෙට්ටිය මතයි. ඇඳීමේදී සහ ලිවීමේදී X සහ Y ලක්ෂ්‍ය තීරණය කරන පිත්තල තැටි විශාල සංඛ්‍යාවකින් මෙම යාන්ත්‍රික මතකය සමන්විත වේ.  මෙය automata යන්ත්‍රයක මේ දක්වා සොයාගත් ලොව වැඩිම ධාරිතාවක යාන්ත්‍රික මතකය වේ. එම යාන්ත්‍රික මතකය ප්‍රෝග්‍රැම් කර ඇත්තේ චිත්‍ර සහ කවි හතක් ඇතුලත් කිරීම සඳහායි.

Draughtsman-Writer යන්ත්‍රයේ යාන්ත්‍රික මතක
අංක 2ක වීඩියෝවෙන් නිරූපණය කෙරෙන (The Writer Automaton, Switzerland ) මෙම automata යන්ත්‍රය වසර 240කට පෙර Pierre Jaquet-Droz නම් ස්විස් ජාතික ඔරලෝසු කාර්මික ශිල්පියෙක් විසින් නිර්මාණය කරන ලදී. මෙහි විශේෂත්වය වන්නේ යාන්ත්‍රික මතකය ඇත්තේ රොබෝවගේ ශරීරය තුලම වීමයි. මෙහි රෝදයක ඉංග්‍රීසි හෝඩියේ අක්‍ෂර සවි කර ඇති අතර අපට අවශ්‍ය ඕනෑම වචනයක් හෝ වාක්‍යක් ලියවා ගැනීම සඳහා මෙම අකුරු ගලවා සවි කර ප්‍රොග්‍රැම් කර ගැනීමට පුළුවන. මෙහි ඇති තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ ලිවීමේදී, ලිවීමේ රටාවට අනුව බෙල්ල සහ හිස සෙලවීමට අමතරව ඇසේ කළු ඉංගිරියාවද චලනය වීමයි.

ඩිස්කවරි සහ බී.බී.සී වාර්තාමය වැඩසටහනක් ආශ්‍රයෙන් සකස් කරන ලදී
Written by Ishani Narahenpita (ICT Teacher, Sri Sumangala College, Hikkaduwa)





No comments:

Post a Comment