Tuesday, January 28, 2014

මොකක්ද මේ Bullet Time කියන ඩිජිටල් දෘෂ්‍ය ප්‍රයෝගය ?

මොකක්ද මේ Bullet Time කියන ඩිජිටල් දෘෂ්‍ය ප්‍රයෝගය ?

සිතන්න ඔබ උඩ පැනීමක නිරත වන බව. ඔබට අවශ්‍යයි ඔබ පොලවෙන් ඉහලට එසැවී සිටින අවස්ථාවේ වීඩියෝ දර්ශනයක්, හැබැයි එම දර්ශනයේ අඩංගු විය යුතු වන්නේ පොලවෙන් ඉහලට වී සිටින අවස්ථාවේ ඔබව අංශක 360න්ම පෙනෙන ආකාරයේ දර්ශන පෙලක්. එනම් ඔබ වටා වීඩියෝ කල ඔබේ දර්ශනයක්. ඒත් කොහොමද එහෙම දෙයක් කරන්නේ? ඔබ ක්‍ෂණිකව බිම වැටෙනවා උඩ පැනපු ගමන්. වෙනත් අයෙකුට ඔබ ගුවනේ සිටින අවස්ථාව වීඩියෝ කරමින් ඔබ වටා දිවීමටවත් කාලයක් තිබෙනවද?

හොඳයි, මෙන්න මේ වගේ අවස්ථාවක වීඩියෝ දර්ශනයක් ලබා ගැනීම සඳහා තමයි Bullet Time කියන දෘෂ්‍ය ප්‍රයෝගය භාවිතා කරන්නේ. මේ ප්‍රයෝගය ලොවට හඳුන්වා දුන්නේ ඔබ අප කවුරුත් දන්නා   The Matrix නම් ජනප්‍රිය චිත්‍රපටය මඟිනුයි, ඒ 1999දී. 


බලන්න  The Matrix චිත්‍රපටයේ මෙම ජවනිකාව ඔබට දැක පුරුදුද කියා. මේ මිනිසාගේ ශරීරය පොලවට සමාන්තරව තිබෙන අවස්ථාවේ කක්‍ෂීය දෘෂ්ඨිකෝණයක් (orbiting viewpoint) නැත්නම් ඔහු වටා දිවෙන දර්ශන පෙලක් ලබා ගත්තේ කෙසේද?

අපටද මෙය ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකි වුවත්, ඒ සඳහා සම්පත් සොයා ගැනීම දුෂ්කර විය හැක. මේ සඳහා වීඩියෝ කැමරාවක් භාවිත නොවන අතර, භාවිත කරන්නේ කැමරාවකි. එක් කැමරාවක් නම් මොකද?

The Matrix චිත්‍රපටයේ නම් මිල අධික SLR කැමරා 50ක් 60ක් විතර උසස් තත්ත්වයේ ලෙන්ස් සමඟ භාවිත කරලා තියෙනවා මේ Bullet Time කියන දෘෂ්‍ය ප්‍රයෝගය සඳහා. ඉතින් ඉහත සඳහන් කල එක් කැමරාවක් ලක්‍ෂ පහක් - දහයක් වෙනවා. හිතන්න ඔවුන් තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය සඳහා කොපමණ මුදලක් වැය කරනවද කියලා!


ඉතින් ඉහත සඳහන් වීඩියෝවේ ආකාරයට තමා මෙම ප්‍රසිද්ධ රූප රාමු පෙල අරන් තියෙන්නේ, එනම් රංගනයේ යෙදී සිටින පුද්ගලයා වටා අංශක 360ම ආවරණය වන පරිදි ඔහුට ෆෝකස් කර කැමරා ඉතා ලඟින් ලඟින් ස්ථාපනය කරනවා (ඔහු වටා කක්‍ෂයේ). ඔහු කිසියම් විශේෂ ඉරියව්වක් නිරූපණය කරන අවස්ථාවකදී දර්ශන පෙලේ අවශ්‍යතාව මත ඔහු වටා ඇති කැමරා සියල්ලම එකවර ක්‍රියාත්මක කර ඔහුගේ රූප රාමු ලබා ගත හැකියි. ඉන් පසු සෑම කැමරාවකින්ම ලබාගත් ඡායාරූප එකට තබා පරිගණක ආශ්‍රයෙන් දර්ශන පෙලක් සෑදිය යුතුය. එවන් අවස්ථාවක කක්‍ෂීය දෘෂ්ඨිකෝණ දර්ශනය බලන විට පුදගලයා නොසෙල්වී සිටී. අපට හැඟෙන්නේ ඔහු උඩ පැන ගුවනේ නොසෙල්වී සිටින විට ඔහු වටා වීඩියෝ කැමරාව දිවගොස් ඇති බවකි.

මෙම වීඩියෝවේ මුල් විනාඩිය පමණ නැරඹීම සෑහේ


නැතහොත් කැමරා එකව ක්‍රීයාත්මක නොකර ඉතා කෙටි කාල පරතරයක් ඇති එකකට පසු එකක් ක්‍රියාත්මක කරවීමේ හැකියාවද ඇත. එවන් අවස්ථාවක කක්‍ෂීය දෘෂ්ඨිකෝණ දර්ශනය බලන විට පුද්ගලයාගේ හෝ වස්තුවේ චලනය ගලා යෑමක් දැකිය හැක. මෙහිදී චලන වේගය සාමන්‍යයෙන් අඩු කරයි (slow motion).


මෙහිදී  slow motion කිරීම සඳහා අතිරේක දර්ශන ලබා ගැනීමට යාබද කැමරා දෙකක දර්ශන දෙකක් ගෙන Interpolation (අන්තර් නිවේශන) මෘදුකාංගයක් ආශ්‍රයෙන් එම දර්ශන දෙක මිශ්‍ර කර නව ඉරියව්වක් සහිත දර්ශනයක් ලබා ගත හැක.




මෙහිදී නරඹන්නාට පෙනෙන්නේ පුද්ගලයා කිසියම් ඉරියව්වකින් නැවතී ඇති විට හෝ මන්දගාමීව ඉරියව්ව නිරූපණය වන විට, ඊට වඩා වේගයෙන් ඔහු වටා වීඩියෝ කැමරාව දිවගොස් ඇති ආකාරයයි.  මෙම දෘෂ්‍ය ප්‍රයෝගය Bullet Time ලෙස හැඳින්වේ.

මතක තියාගන්න 3D animation සඳහාත් මේ ප්‍රයෝගය භාවිත කරනවා, ඒ සඳහා නම් ඇත්ත කැමරා නෙමේ Virtual කැමරා තමා භාවිත කරන්නේ.

විකිපීඩියා සහ sciencechannel ආශ්‍රයෙන් සකස් කරන ලදී

Written by Ishani Narahenpita 
(ICT Teacher, Sri Sumangala College, Hikkaduwa)

No comments:

Post a Comment