Wednesday, May 7, 2014

දත්ත සම්ප්‍රේෂණයේදී සංඥාවට සිදු විය හැකි බලපෑම්. (A/L ICT)

දත්ත සම්ප්‍රේෂණයේදී සංඥාවට සිදු විය හැකි බලපෑම්.

මේ උසස් පෙල competency level 8.6 පරිගණක ජාලකරණය සහ දත්ත සන්නිවේදනය. මේ කොටසින් මේ වන තෙක් උසස් පෙල ප්‍රශ්න පත්‍රයේ ජාලකරණ ප්‍රශ්න අසා නැහැ. උසස් පෙල ජාලකරණ ප්‍රශ්නය විවිධාකරයි. සබ් නෙට් මාස්ක් එක පිළිබඳ ප්‍රශ්නය හැරුණම කිසිම අවුරුද්දක නැවත නැවත එකම ජාලකරණ ප්‍රශ්නය අහලා නැහැ. ඔබ දන්නවා උසස් පෙලට පරිගණක ජාලකරණය පිළිබඳ සැලකිය යුතු කොටසක් ආවරණය වන බව. ඉතින් ඉදිරියේදී ඉහත මාතෘකාව යටතේ ප්‍රශ්න ඇසීමට ඉඩ ඇති නිසා මේ ලිපිය ලියන්න හිතුණා.

කිසියම් මාධ්‍යක් ඔස්සේ සංඥාවක් (Signalසම්ප්‍රේෂණය වීමේදී නොයෙකුත් ආකාරයේ බලපෑම්වලට නතුව හානි සිදු විය හැක. එසේ වුවහොත් ග්‍රාහකයාට ලැබෙන්නේ සම්ප්‍රේෂණ අන්තයෙන් එවූ මුල් සංඥාවට වඩා හාත්පසින් වෙනස් එකකි. සංඥාවට ඇති වූ බලපෑම අධික වුවහොත් ග්‍රාහකයාට සංඥාව නොලැබී යාමටද ඉඩකඩ තිබේ. මෙලෙස සංඥාවකට බලපෑම් විය හැකි ප්‍රධාන ආකාර තුනක් දක්නට ලැබේ.
  • 1.       Signal Attenuation  - සංඥා හායනය
  • 2.       Signal Distortion - සංඥා විකෘතිය
  • 3.       Noise - ඝෝෂාව
Signal Attenuation - සංඥා හායනය
සංඥාවක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කිරීමේදී එහි ශක්තිය හීන වේ. සම්ප්‍රේෂණ දුර වැඩි වන්නේද සංඥාවේ ශක්තිය වැඩියෙන් හීන වී යයි. මෙය රැහැන් සහිත සහ රැහැන් රහිත මාධ්‍ය දෙකටම පොදු ස්වාභාවයකි. මෙහි ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ තරංගයේ ආයාමය (උස) තරංගය පුරා ඒකාකාරී ස්වාභාවයෙන් අඩු වීමයි.

ඉහත උදාහරණයේ පරිදි මුල්  සංඥාව සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ point 1 සිට point 2 දක්වා ගමන් කිරීමේදී එහි උස අඩු වී ඇති බව ඔබට පෙනී යයි.  එහෙත් තරංගයේ හැඩයට බලපෑමක් වී නොමැත.
තරංගය මේ ආකාරයෙන් තව දුරටත් සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ යැවුවොත් එහි ශක්තිය දිගින් දිගටම හීන වී තරංගය සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැක. එනිසා එලෙස තරංගයක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ විනාශ නොවී ගමන් කල හැකි උපරිම දුර සොයාගෙන එම දුර අනුව රිපීටර්ස් ස්ථාපනය කල යුතු වේ. රිපීටර් එකක් යනු ශක්තිය හීන වූ තරංගයේ ශකතිය වර්ධනය (amplify) කර  නැවතත් තරංගය යථා තත්ත්වයට පත් කර දෙන උපකරණයක් වේ.

සම්ප්‍රේෂණ මාධ්‍ය අනුව ශක්තිය හීන වීමේ ශීඝ්‍රතාවය වෙනස් වේ.
උදා. Thin coaxial cable එකක තරංගයක් විනාශ නොවී ගමන් කල හැකි උපරිම දුර මීටර 185කි. එසේ නම් A සිට B සම්ප්‍රේෂණ දුර අනුව මීටර  185න් 185ට රිපීටර්ස් ස්ථාපනය කල යුතු වේ.
Thick coaxial cable හි සම්ප්‍රේෂණ දුර - මීටර 500
Twisted pair (Network cables) හි සම්ප්‍රේෂණ දුර - මීටර 100
Fiber optics හි සම්ප්‍රේෂණ දුර - කිලෝ මීටර 100යි.
ඒ අනුව රැහැන් සහිත මාධ්‍යයක් ඔස්සේ දිගු දුර දත්ත සම්ප්‍රේෂණයට වඩාත් උචිත වන්නේ Fiber optic කේබල වේ.

රැහැන් රහිත මාධ්‍ය ඔස්සේ තරංගයක් ගමන් කිරීමේදී දුර ප්‍රමාණය මෙන්ම පහත සඳහන් සාධකද තරංගයේ ශක්තිය හීන වීම සඳහා බලපායි.
  •  තරංග පරාවර්තනය
  • තරංග වර්තනය (තරංගයක් එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යකට ගමන් කිරීමේදී. උ. දා. වායුගෝලයේ සිට ජලයට)
  • තරංග විවර්තනය (“තරංග ගමන් ගන්නා මාර්ගයේ බාධක නිසා ඇතිවන තරංග නැවීම් ආශ්‍රීතව සිදුවන විවිධ සංසිද්ධීන් විවර්තනය ලෙස හැඳින්වේ” - විකීපීඩියා)
  •  තරංග අවසෝෂණය (වායුගෝලයේ ජල වාෂ්ප සහ මීදුම අධික වීම නිසා)

Signal Distortion - සංඥා විකෘතිය
සංඥාවක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කිරීමේදී එහි හැඩය වෙනස් වේ නම් එය සංඥා විකෘතිය ලෙස හඳුන්වයි. මෙහිදී ග්‍රාහකයාට  ලැබෙනුයේ සම්ප්‍රේෂණ අන්තයෙන් එවූ සංඥාවට වඩා හැඩයෙන් වෙනස් සංඥාවකි.

සම්ප්‍රේෂණය කල තරංගය
ග්‍රහණය කල තරංගය











සංඥා විකෘති වර්ග ප්‍රධාන වශයෙන් තුනක් දක්නට ලැබේ.
  1.  Amplitude distortion/ ආයාම විකෘතිය
  2. Frequency distortion/ සංඛ්‍යාත විකෘතිය
  3. Phase distortion/ තරංග මුහුණත් විකෘතිය

Amplitude distortion
මෙහිදී තරංගයේ තරංග ආයාමය තැනින් තැන වෙනස් වී තිබෙනු දක්නට ලැබේ. තරංග හායනයේදී තරංග ආයාමය මුළු තරංගය මුළුල්ලේ ඒකාකාරී ලෙස අඩු වුවත් මෙහිදී තරංග ආයාමය වෙනස් වී ඇත්තේ තරංගයේ තැනින් තැන වේ. එනිසා තරංගයේ මුල් හැඩය වෙනස් වේ.


පහත රූපයේ දැක්වෙන පරිදි නිල් පැහැයෙන් පෙන්වන්නේ සම්ප්‍රේෂණ අන්තයේ තරංගය වන අතර රතු පැහැයෙන් පෙන්වන්නේ ග්‍රහණය කරගත් තරංගය වේ. රතු පැහැ තරංගයේ යම් යම් කොටස්වල පමණක් නිල් පැහැ තරංගයට වඩා ආයාමය වෙනස් වී ඇත. 













Frequency distortion
මෙහිදී මුල් තරංගයේ තරංග සංඛ්‍යාතය ග්‍රාහක අන්තයේදී තැනින් තැන වෙනස් වී තිබෙනු දක්නට ලැබේ. එනිසා තරංගයේ මුල් හැඩය වෙනස් වීමකට භාජනය වේ.

Phase distortion
මෙහිදී මුල් තරංගයේ තරංග මුහුණත ග්‍රාහක අන්තයේදී තැනින් තැන වෙනස් වී තිබෙනු දක්නට ලැබේ. එනිසා තරංගයේ මුල් හැඩය වෙනස් වීමකට භාජනය වේ.

Noise - ඝෝෂාව
සම්ප්‍රේෂණ අන්තයේ සිට යවන සංඥාවකට ඝෝෂාව එක් වූ විට ග්‍රාහක අන්තයට ලැබෙන්නේ පිරිසිදු සංඥාවක් නොවේ.
ඝෝෂා වර්ග කිහිපයක් දක්නට ලැබේ: තාපය නිසා හට ගන්නා ඝෝෂාව (thermal noise), ප්‍රේරිත ඝෝෂාව (induced Noise), cross-talk, impulse noise.

1. තාපය නිසා හට ගන්නා ඝෝෂාව (thermal noise)
ලෝහ මාධ්‍යක් ඔස්සේ තරංගයක් ගමන් කිරීමේදී ලෝහයේ ඇති ඉලෙක්ට්‍රෝන කැලඹීමකට ලක්වී තාපයක් හට ගනී. එනිසා ඝෝෂාකාරී තරංගයක් අතිරේක ලෙස නිර්මාණය වී ලෝහ මාධ්‍ය ඔස්සේ ගමන් කරන ප්‍රධාන තරංගය හා මිශ්‍ර වේ.

2. ප්‍රේරිත ඝෝෂාව (induced Noise)
කිසියම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන තරංගයක් අසල ඇති ඝෝෂාකාරී උපකරණ මඟින් (උ. දා. මෝටර්) උත්පාදනය වන ඝෝෂාකාරී තරංග හා මිශ්‍ර වීමෙන් ප්රේරිත ඝෝෂාව ඇති වේ.

3. cross-talk
වයර් දෙකක් එක මත එකක් ගොස් ඇති විට (cross වී ඇති විට) කේබල දෙක ඔස්සේ ගමන් කරන තරංග දෙක එකිනෙක මිශ්‍ර විය හැක. මෙහිදී එක් කේබලයක් සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස ක්‍රියා කරන අතර අනෙක් කේබලය ග්‍රාහක මාධ්‍ය ලෙස ක්‍රියා කරයි. වයර නිසි ලෙස ආවරණය නොකර ඇති විට හෝ ආවරණවලට හානි වී ඇති විට මෙසේ වේ. 

4. impulse noise
කිසියම් සම්ප්‍රේෂණ මාධ්‍යක් ඔස්සේ ගමන් කරන තරංගයකට කරන්ට් වයර් එකක් මඟින් හෝ විදුලි කෙටීමක් මඟින් ඇතිවන විද්‍යුත් චුම්භක ධාරා මිශ්‍ර වීමෙන් නිපදවෙන ඝෝෂාව impulse noise ලෙස හැඳින්වේ.

Written by Ishani Narahenpita- ICT teacher, Sri Sumangala College.
·



Wednesday, April 23, 2014

Photoshop භාවිතයෙන් සර්ව දිශා දර්ශනයක් (Panorama) නිර්මාණය කරගැනීම

Photoshop භාවිතයෙන් සර්ව දිශා දර්ශනයක් (Panorama) නිර්මාණය කරගැනීම


මුලින්ම දැනගන්න ඕනේ මේ Panorama එකක් නැත්නම් සර්ව දිශා දර්ශනයක් කියන්නේ මොකක්ද කියලා. හිතන්න ඔබ කඳු මුදුනක සිට හාත්පස නරඹනවා කියලා. ඔබට කිසිදු බාධාවකින් තොරව ඔබ අවට අංශක 360 ටම ආවරණය වන දර්ශනයක් පේනවා. හාත්පස සිසාරා කිසිදු බාධාවකින් තොරව නරඹන්න පුළුවන්. අන්න ඒ වගේ දර්ශනයකට කියනවා සර්ව දිශා දර්ශනයක් කියලා. මේ දර්ශනයට අංශක 360ම ආවරණය වෙන්න අවශ්‍ය නැහැ. ඔබට පෙනෙන්නේ අංශක 180ක් ආවරණය වන කලාපයක් නම් ඒකත් ඉතින් සර්ව දිශා දර්ශනයක් තමා. මේවගේ දර්ශනයකට ඉංග්‍රීසි භාෂාවෙන් Panorama එකක් කියලා.

ඉතින් මේ Panorama දර්ශනයක් සාමාන්‍ය කැමරාවකට හෝ සාමාන්‍ය ලෙන්ස් එකක් සවි කල කැමරාවකට තනි රූප රාමුවකින් ආවරණය කරන්න අමාරුයි. මොකද දර්ශනයේ දිග, පලලට සාපේක්‍ෂව ඉතා වැඩි නිසා. හැබැයි වයිඩ් ලෙන්ස් එකක් සවි කල කැමරාවකට නම් Panorama දර්ශනයක් ලබාගන්න පුළුවන්. එම කාචයට හසුවන දර්ශන පථය වැඩි නිසා. ඉතින් අපිට කොහෙන්ද වයිඩ් ලෙන්ස්. අපි බලමු අපේ ලඟ තියෙන සාමාන්‍ය කැමරාවකින් මේ වගේ දර්ශනයක් සාදා ගන්නේ කෙසේද කියා.

හැබැයි දැන් එන SLR නොවන සාමාන්‍ය කුඩා කැමරාවල සහ ජංගම දුරකථනවල ස්වයංක්‍රීයව Panorama එකක් සෑදෙන ඔප්ෂන් එකක් තියෙනවා අපි ගත්ත දර්ශන ලබා දුන්නම. හැබැයි SLR කැමරාවල මේ වගේ ඔප්ෂන් දෙන්නේ නැහැ ඒවා වෘත්තීය මට්ටමේ කැමරා නිසා. ඒ නිසා Photoshop භාවිත කරලා Panorama එකක් නිර්මාණය කරගන්නා ආකාරය දැන ගැනීම වඩාත් හොඳයි. ගුණාත්මක භාවයත් වැඩියි.

මෙහි දැක්වෙන්නේ කලකට ඉහත මවිසින් ලබා ගත් සර්ව දිශා දර්ශනයක් ඇතුලත් ඡායාරූපයක්. 



ඇත්තටම මේක ඡායාරූපයක් කීවට ඡායාරූප තුනක එකතුවක්. මේ දර්ශන පථය මේ පෙනෙන ආකාරයෙන් ආවරණය කිරීම සඳහා පහත සඳහන් පරිදි මට වෙන වෙනම ඡයාරූප 3ක් ගන්න සිදු වුණා. (ඉහත සර්ව දිශා දර්ශනයට High Dynamic Range color tone එකක් apply කරලා තියෙන්නේ ඒකයි ඒකේ පාට ටිකක් වෙනස්. අපි High Dynamic Range ඡායාරූප ගැන වෙනම දවසක කථා කරමු.)









සර්ව දිශා දර්ශනයක් සැකසීම සඳහා ඡායාරූප ලබා ගැනීමේදී පිලිපැදිය යුතු නීති රීති.

1.       වඩාත් නිවැරදි Panorama එකක් සාදා ගැනීම සඳහා කැමරාව ත්‍රිපාදයක සවි කල යුතු වේ. එහෙත් ත්‍රිපාදයක් අත්‍යවශ්‍ය නොවේ.

2.       ඡායාරූප ලබා ගැනීමේදී කැමරාව දර්ශන පථයෙන් ඈත් මෑත් නොකල යුතුය. ත්‍රිපාදයක කැමරාව සවි කර ඇත්නම් ත්‍රීපාදය එහෙ මෙහේ නොකර ත්‍රිපාදයේ හිස පමණක් රූප රාමුවෙන් රාමුව ලබා ගැනීම සඳහා සුදුසු ප්‍රමාණයකට කරකැවිය යුතුය.

3.       අතේ තබාගෙන ඡායාරූප ගනිද්දී ඔබ කැමරාවත් රැගෙන එහෙට මෙහෙට චලනය නොවිය යුතුය. එනම් රූප රාමු සියල්ලම ලබා ගන්නා තෙක් එකම ස්ථානයේ  ස්ථානගතව සිටිය යුතුය. ඔබේ අත, පලමු රූප රාමුවේ සිට අවසන් රූප රාමුව ගන්නා තෙක් ඉහල පහල චලනය නොකල යුතුය. පලවන රූප රාමුවේ සිට අවසන් රූප රාමුව දක්වා අත සමාන්තරව චලනය කල යුතු වේ. අතේ අනවශ්‍ය චලනය අවම කර ගැනීම සඳහා ඔබේ කැමරාවේ view finder එකක් ඇත්නම් එයට ඇස තබා ඡායාරූප ලබාගන්න.

4.       රූප රාමුවෙන් රාමුවට කැමරාවේ සෙටිංස් හෝ මෝඩ් එක වෙනස් නොකිරීමට වග බලාගන්න.


5.       එක් රූප රාමුවකින් පසු අනෙක් රූප රාමුව ලබා ගැනීමේදී ප්‍රථම රූප රාමුවේ අවසන් භාගයෙන් සුළු කොටසක් ඊ ලඟ රූප රාමුවටත් ලබාගන්න. රූප රාමු දෙකක් අතර පරතරයක් ඇති වීම එමඟින් මග හැරේ. එසේ රූප රාමු දෙකක් අතර පරතරයක් ඇති වීමෙන් ෆොටෝෂොප් මෘදුකාංගයට රූප රාමු දෙක සම්බන්ධ කල නොහැක.

නිවැරදි ආකාරය






  වැරදි ආකාරය










දැන් ඡායාරූප අරන් ඉවරයි. දැන් තියෙන්නේ ඉහත ලබා ගත් රූප රාමු ෆොටෝෂොප් මඟින් විවෘත කිරීම.

ෆොටෝෂොප් හි ප්‍රධාන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් File -> Automate -> Photomerge කියන එක තෝරගත්තම මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. 


Photomerge කියන්නේ ඡායාරූප එකිනෙක බද්ධ කරනවට. ඉතින් බද්ධ කරන ආකාර කිහිපයක් තියෙනවා. අන්න ඒවා තමා මේ වින්ඩෝ එකේ වම් කෙලවරේ තියෙන්නේ. අපි බලමු මේ එක එක ක්‍රමවලින් මොනවද වෙන්නේ කියලා.

1. Perspective
Perspective කියන්නේ මැද තියෙන ඡායාරූපය ප්‍රධාන රූප රාමුව ලෙස සලකලා දෙපැත්තේ තියෙන රූප රාමු මැද තියෙන රූප රාමුවට සාපේක්‍ෂව අදිනවා, ඇල කරනවා සහ එහෙට මෙහෙට කරනවා Panorama දර්ශනය සාදා ගැනීම සඳහා. මෙහිදී අවසන් Panorama දර්ශනය මෙන්න මේ වගේ එකක් වෙන්නේ.
ඔබට පේනවා ඇති මෙහි මැද සිහින් දෙපස විශාලයි. හරියට බෝ එකක් වගේ. හැබැයි මේ ඔප්ෂන් එක මඟින් Panorama දර්ශනයේ දීර්ඝභාවය සුරැකෙනවා ඒත් දර්ශනය සිහින් වෙනවා.

2. Cylindrical
Cylindrical ඔප්ෂන් එකේදී ඉහත බෝ ගැටයේ හැඩය අවම කරනවා. මෙහිදීත් ප්‍රධාන රූප හැටියට සලකන්නේ මැද තියෙන රූපය. මෙහි මධ්‍යය සිහින් නැහැ. එනිසා Panorama දර්ශනය අනවශ්‍ය ලෙස සිහින් වෙන එක වැලකෙනවා. එහෙත් Panorama දර්ශනයේ පරාසය ටිකක් අඩු වෙනවා දෙපැත්තෙන්.

3. Spherical
මේ ඔප්ෂන් එක භාවිතා වෙන්නේ අංශක 360ක Panorama දර්ශනයක් නිර්මාණය කරනකොට. ඒක වෙනම කතාවක්. අපි වෙන දවසක කථා කරමු අංශක 360 Panorama දර්ශන ගැන.

4. Collage
Collage කියන්නේ රූප රාමුවල එක මත එක වැටෙන කොටස්වලට අනුව එසේ නොවන කොටස් අදිනවා, ඇල කරනවා සහ එහෙට මෙහෙට කරනවා Panorama දර්ශනය සාදා ගැනීම සඳහා.

5. Re position
Re position කියන්නේ රූප රාමුවල එක මත එක වැටෙන කොටස්වලට අනුව එසේ නොවන කොටස් Panorama දර්ශනය සාදා ගැනීම සඳහා ඇදීමකට, ඇල කිරීමකට හෝ චලනය කිරීමකට භාජනය කරන්නේ නැහැ. මෙන්න මේ වගේ.

6. Auto
ඉහත සඳහන් ක්‍රම මඟින් ඔබේ Panorama දර්ශනය සඳහා සුදුසු ක්‍රමය මොකක්ද කියලා තීරණය කරන්න අපහසු නම් ඔබට Auto මෝඩ් එක දෙන්න පුළුවන්. එතකොට ෆොටෝෂොප් මඟින්ම ඉහත ක්‍රමවලට අනුව සුදුසු ක්‍රමයක් ස්වයංක්‍රීයව යොදා ගන්නවා. ඉතින් මෙන්න මේ ක්‍රමය තමා වඩාත් සුදුසු.

Photomerge ඔප්ෂන්ස්වලින් වඩාත් හොඳයි Auto මෝඩ් එක තෝරගන්න එක. ඊට පස්සේ දෙන්න ඕන merge කරන ෆොටෝස් ටික. වඩාත් හොඳයි ඒවා ෆොටෝෂොප්වලින් විවෘත කරගෙන හිටියනම්. Photomerge වින්ඩෝ එකේ button එකක් තියෙනවා “Add Open Files” කියලා. ඒක ප්‍රෙස් කරපු ගමන් වින්ඩෝ එකේ  වැටෙනවා අර විවෘත කරගෙන ඉන්න ෆොටෝස්වල නම් ටික. පහත රූපයේ රවුම් කරලා තියෙන්නේ... හැබැයි එකක් මතක තියාගන්න ඕන, merge කිරීමට අදාල නැති ෆොටෝස් නම් Open කරගෙන ඉන්න එපා. ඊට පස්සේ ඒවත් merge ප්‍රොසෙස් එකට ඇඩ් වෙලා, වැඩේ අවුල් වෙනවා.


දැන් “OK” button එක ප්‍රෙස් කරන්න. ඔන්න merging process එක ආරම්භ වුණා. මේකට ටිකක් වෙලා යනවා. Process එක අවසන් වෙනකන් බලන් ඉන්න. මේකට වැයවන කාලය ෆොටෝ එකක ධාරිතාවය සහ merge කිරීමට ගන්නා ෆොටෝස් ප්‍රමාණය මත රඳා පවතිනවා. මේ Process එකට සාමාන්‍යයෙන් ඉහල මට්ටමේ මෙමරි එකක් ඕන. අඩුම තරමින් මෙමරි එක 1 Gb වත්. නැත්නම් කම්පියුටර් එක stuck වෙන්න පුළුවන්. වැඩි මෙමරි ධාරිතාවක් තියෙන පරිගණකයක් වුණත් මේ merging process එක, තුන් හතර වතාවක් කරද්දී ස්ලෝ වෙනවා. හැබැයි රි-ස්ටාර්ට් කලාම හරි යනවා.


මේ තියෙන්නේ merging process එක අවසානයේ ලැබෙන Panorama දර්ශනය. හරිම කැතයි නේද? බලන්න මේ Panorama එකේ ස්වාභාවය අනුව ෆොටෝෂොප් විසින් මේකට ඇප්ලයි කරලා තියෙන්නේ Perspective මෝඩ් එක. මේක තනි ෆොටෝ එකක් විදිහට දිස් උනාට මේක ෆොටෝ තුනක එකතුවක්. බලන්න දකුණු අත පැත්තේ ලේයර් වින්ඩෝ එකේ අදාල ෆොටෝස් තුන වෙන වෙනම ලේයර්ස් තුනක පෙන්වලා තියෙන හැටි. ඒවායේ විසිබිලිටි එක (කලින් පාඩමේ කියලා දුන්නා) ඔන් ඕෆ් කරලා බලන්න ඒ ඒ ෆොටෝ එකෙන් අරගෙන තියෙන කෑල්ල බලාගන්න පුළුවන්.













දැන් මේ විදිහට ෆොටෝ එක තියන එක කැතයි නේ. ෆොටෝ එකක් කීවම ඒකට තියෙන්න ඕන කොටු හැඩයක්. ඉතින් අපි ෆොටෝ එකේ කොන් සහ අයින්වලින් අපතේ යන ප්‍රමාණය අවම වන විදිහට පහත සඳහන් ආකාරයට ෆොටෝ එක සෘජුකෝණාස්‍රාකාරව සිලෙක්ට් කරගන්න ඕන සිලෙක්ට් ටූල් එකෙන්. දැන් මේ සිලෙක්ට් කරගත්ත එක කොපි කරලා අළුත් ෆයිල් එකක් අරන් පේස්ට් කරගන්න ඕන.
 කොපි කරනකොට සාමාන්‍ය කොපි එක ඒ කියන්නේ ctrl+c  හෝ Edit  ->Copy කලොත් වෙන්නේ දැනට සිලෙක්ට් වෙලා තියෙන ලේයර් එක විතරක් කොපි වෙන එක. ඒ කියන්නේ මේ රූපය කෑලි තුනක එකතුවක් නිසා එක කෑල්ලයි කොපි වෙන්නේ. ඒ නිසා කෑලි තුනම/ සියල්ලම කොපි කර ගැනීම සඳහා පහත ආකාරයට එඩිට් මෙනූ එකෙන් Copy Merged කියන ඔප්ෂන් එක ගන්න ඕන.


හරි දැන් File -> New ගිහින් ගත්තම එන හිස් පේජ් එකට සාමාන්‍ය ආකාරයෙන් පේස්ට් කරන්න (Edit -> Paste හරි Ctrl+V යන දෙකෙන් එක් ආකාරයකින්).

මේ තියෙන්නේ අවසන් Panorama දර්ශනයයි. දැන් ලස්සනයිනේ? Panorama ෆොටෝ එකක ධාරිතාවය සාමාන්‍ය ෆොටෝ එකකට වඩා බොහොම වැඩියි. ඇයි ෆොටෝ කිහිපයක එකතුවක් නේ. හැබැයි මේක පුදුම විදිහට විශාල කරන්න පුළුවන්. සාමාන්‍ය ෆොටෝ එකක් එහෙම විශාල කලොත් පික්සල්ස් පෙනෙන්න ගන්නවා. 

 මේ තියෙන්නේ මවිසින් ගත්ත තවත් Panorama දර්ශන කිහිපයක්. ඔබ ඉන්න ප්‍රදේශයෙත් ඇති මේ වගේ දර්ශන. අත්හදා බලන්න.

Written by Ishani Narahenpita- ICT teacher, Sri Sumangala College.